Sunday 9th of November 2025

English Tamil
Advertiesment


බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 55000ක් නොමිලයේ බෙදා හැරේ 


2024-07-01 14707

 

ලෝක ආහාර වැඩ සටහන යටතේ බණ්ඩි පොහොර හෙවත් MOP පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් වී ගොවීන් අතර නොමිලයේ බෙදා දීමට රජය කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මෙම පොහොර තොගය ඉදිරි යල සහ මහා කන්නවල දී වී වගාව සඳහා ලබා දීමට නියමිත බවත් එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම වැඩ සටහනෙන් කළ ඉල්ලිමක් පරිදි මෙම බණ්ඩි පොහොර තොගය මෙසේ වී ගොවීන් අතර නොමිලයේ බෙදා දෙන බවත් කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යංශය පවසයි.

වී වගාව සඳහා ඉතාමත් අත්‍යාවශ්‍ය පොහොර විශේෂයක් වන බණ්ඩි පොහොර නොයෙදීම මගින් ගොයම් කහවීම වගේම ගොයම් කරල නිසි ලෙස වර්ධනය නොවන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බණ්ඩි පොහොර මිල රුපියල් 14000ක් වැනි ඉහළ මට්ටමක පැවැති අතර රජයට අයත් පොහොර සමාගම් මගින් මෙම මිල රුපියල් 9000 දක්වා අඩු කිරීමට රජය පියවර ගනු ලැබීය. ඒ අනුව පසුගිය මහ කන්නයේ සිට බණ්ඩි පොහොර මිටිය රුපියල් 9000 බැගින් අලෙවි කෙරිණ. 

ලෝක ආහාර වැඩ සටහනේ අනුග්‍රහය යටතේ බෙදා හැරෙන බණ්ඩි පොහොර සඳහා "VAT" සහ මෙහෙයුම් ගාස්තු වෙනුවෙන්  රුපියල් බිලියන 3.5ක් වැය වෙනු ඇතැයි ගණන් බලා තිබෙන අතර ඒ මුදලින් රුපියල් බිලියන 1.1ක් පරිහරණ වියදම් වශයෙනුත්, බිලියන 2.4ක් "VAT" බදු වශයෙනුත් වැය කිරීමට සිදු වන බව අමාත්‍යාංශය පවසයි.

Advertiesment